Sunday, 2 June 2024

සන්නිවේදනයේ ස්වභාවය

                                    සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කර ගැනීම ලෙස සරලව හැඳින්විය හැකිය.සන්නිවේදනයේ විවිධ ස්වභාවයන් තිබේ.සන්නිවේදනයේ ස්වභාවය තේරුම් ගැනීම සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කරයි.එසේ සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අදාළ ස්වභාවයේ ගුණාංග, පොදු ගති ලක්ෂණ හඳුනාගත යුතුය.





1.සන්නිවේදනය අරමුණුසහගතය

                  ඕනාම සන්නිවේදන ගනුදෙනුවකට යම් නිශ්චිත අරමුණක් හෝ අරමුණු කිහිපයක් තිබිය හැක.අරමුණකින් තොරව සන්නිවේදනය ක්‍රියාත්මක නොවේ.සන්නිවේදනයේ යෙදෙන දෙපාර්ශවය සන්නිවේදනයේ අරමුණ හරිහැටි හඳුනාගැනීම තුළින් සන්නිවේදනය සාර්ථක කර ගත හැකිය.

උදා:-  

  • ජනශ්‍රැති ගත් කළ එහි ප්‍රධාන අරමුණ විනෝදයයි.
  • පාසලක ගුරවරයෙකු සහ ශිෂ්‍යයන් අතර සිදු වන සන්නිවේදනයේ අරමුණ අධ්‍යාපනය
  • කුතුහලය සමනය කරගැනීම.    
                                                                           මේ ආදී වූ අරමුණු රැසක් සන්නිවේදනය පිටුපස ක්‍රියාත්මක වේ,සන්නිවේදනයේ යෙදෙන දෙපර්ශවය තුල ඇති අරමුණු අතර පරස්පරතාවක් ඇති වුවහොත් සන්නිවේදනය තුළ විවිධ ගැටුම්කාරී තත්ත්ව ඇතිවිය හැක.


2.සන්නිවේදනය සන්දර්භානුගතය

                                             කවර හෝ සන්න්වේදනයක් සිදු වන්නේ කිසියම් සන්දර්භයක් තුළය.සන්දර්භය යන්නෙන් අදහස් කෙරෙන්නේ අදාළ සන්නිවේදන ක්‍රියාවලිය සිදුවන 'වටපිටාව' නොහොත් 'පරිසරය' යි. සන්නිවේදන කාර්යය සහ සන්දර්භය අතර ඍජු සම්බන්ධතාවක් පවතී.සන්දර්භයට උචිත පරිදි පණිවිඩය සකසා ගැනීම සිතාමතාම කළ යුතුය.එය භෞතික පරිසරයට පමණක් සීමා නොවේ.ස්ථානය, සන්නිවේදන ග්‍රාහක භූමිකා, විවිධ අවස්ථා, සංස්කෘතීන්, පණිවුඩය වටා බැඳුනු විෂය ක්ෂේත්‍රය අනුව සන්දර්භය වෙනස් වේ.
උදා:-
  • කතාකරන ස්ථානය අනුව - මළගෙදරක්, මගුල් ගෙදරක්, පෙරහැරක්, ක්‍රීඩා තරඟයක්,                                                                       පන්සලක් හෝ ආගමික ස්ථානයක් හෝ ආගමික කටයුත්තක්.                                                                 උසාවියක්, සමවයස් කණ්ඩායමක්, පාසලක්.....ආදී වශයෙන් විවිධ ස්ථාන                                                 වලදී කතා බහ කරන රටාව වෙනස් වේ.
  • වෘත්තිය/රැකියාව අනුව -  ගොවියාගේ හැසිරීම සහ කමත් බස, ඉහළ පෙළේ රැකියා සහ ඉංග්‍රීසි භාෂාව                                               භාවිතය
  • අධ්‍යාපන මට්ටම අනුව 
  • ආකෘතියේ ස්වභාවය අනුව

   
3.සන්නිවේදනය සංකේතාත්මකය
                                                 සන්නිවේදනය යනු මුළුමනින්ම සංකේතාත්මක ක්‍රියාවලියකි.මෙම සංකේතාත්මක ගනුදෙනුවෙන් ප්‍රකාශ වන්නේ පණිවුඩයේ ස්වභාවයයි.සත්ත්ව සන්නිවේදනයට වඩා මානව සන්නිවේදනය වෙනස් වන්නේ මෙයිනි.සංකේත යනු වෙනත් දෙයක් වෙනුවෙන් පෙනී සිටින, නියෝජනය කරන තවත් දෙයකි.එයින් විවිධාර්ථ ප්‍රකාශ වේ. විශේෂයෙන් වාච්‍යාර්ථය ඉක්මවා ගිය සංඥාර්ථ මින් ප්‍රකාශිතය.ස්මංක්වේත සමග සිදුවන සන්නිවේදන ගනුදෙනු ඉතාම ප්‍රවේශමෙන් සූක්ෂම ව කළ යුතුය. රූප හා සංකේත ලෙස දෙයාකාරයෙන් දැක්විය හැකිය.මාර්ග සංඥා, සිතියම් ආදිය මෙන්ම ඉඟි/අභිනව සංකේතයන් වැරදි ලෙස අවබෝධ කරගත් විට ලැබෙන පණිවිඩය වෙනස් විය හැක.කථනයේදී සහ ලේඛනයේදී සංකේත මගින් බොහෝ අර්ථ දෙන නිසාවෙන් මුර්ධජ,සංඤ්ඤක,මහප්‍රාණ අකුරුද, නැවතීමේ තිත,හර්ෂයාදී ලකුණ, කොමාව ආදී විරාම ලකුණු නිසි තැන යොදා නොගැනීමෙන් වැරදි වැටහීම් සිදු වී විශාල ව්‍යසනයන් පවා සිදු විය හැක.
උදා:-
මරන්න. එපා නිදහස් කරන්න.
මරන්න එපා. නිදහස් කරන්න.

                                                          අකුරු, වර්ණ, පවා සංකේතාත්මක වන අතර අක්ෂි චලනය, අභිනය, අංගචලනය, උච්චාරණ ශෛලීන් වල පවා සංකේත ගැබ්ව ඇත.







4.සන්නිවේදනය ඒකමාර්ගික මෙන්ම ද්විමාර්ගිකය
                                                                                සරලව ගත් කළ සන්නිවේදනය යන්න ගනුදෙනුවක් යන අදහසද මෙයට දිය හැක.එනම් තොරතුරු ලබා ගැනීමක් සහ දීමක් යන කාර්යයන් දෙකම මෙහිදී සිදු වේ.සන්නිවේදනයේ ඒක මාර්ගික බව යනු එක්දිශාවකට පමණක් තොරතුරු සන්නිවේදනය වීමයි.
උදා :- 
  • අන්තර්වර්තීපුද්ගල සන්නිවේදනය
  • රූපවාහීනිය නැරඹීම
  • ගුවන්විදුලියට සවන් දීම
 

                     
                                                        ද්විමාර්ගික බව යනු සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා වෙතත්, ග්‍රාහකයාගෙ සිට සන්නිවේදකයා වෙතත් සන්නිවේදන ග්‍රාහක භූමික හුවමාරු වෙමින් සන්නිවේදනය සිදු වීමයි.
උදා :- 
  • පුද්ගලාන්තර සන්නිවේද්නය
  • ගුරුවරයෙකු සිසුන්ට පාඩමක් උගන්වන අතර සිසුන් පාඩම පිළිබඳව ගුරුවරයාගෙන් ප්‍රශ්න ඇසීම
  • මිතුරන් දෙදෙනෙකුගේ කතාබහක්



5.සන්නිවේදනය බලය වේ
                                        අප ජීවත් වන්නේ තොරතුරු වලට වටිනාකමක් ඇති සමාජයකය.උණුසුම් නැවුම් තොරතුරු වලට ඇති වටිනාකම ඉතා ඉහළ සහ එහි මූල්‍යමය වටිනාකමද ඉහළ ය.යාවත්කාලීන වන නැවුම් තොරතුරු සමග දැනුම ගොඩ නැගේ.දැනුම් සමාජයකට පිවිසෙන විට අපට දැනුම පාදක කරගත් බලයක්, නායකත්වයක් ලැබේ.මිනිසා සෑම විටම දැනුම් පිපාසයෙන් පෙලෙන්නෙකි.එයින් නැවුම්, නිවැරදි, පැහැදිලි, සත්‍යගරුක තොරතුරු දැනුම් සමාජයට වටිනාකමක් ලබා දෙයි.නායකත්වය,ප්‍රසිද්ධිය, ප්‍රතිරූපය, ජනප්‍රියත්වය රැකදීමට සහ ජනමතය, කැමැත්ත දිනා ගැනීමේ බලය සන්නිවේදනය මත පදනම් ව ඇත.එය සන්නිවේදනයේ බලයයි.


6.සන්නිවේදනය ක්‍රියාපටිපාටියකි
                                                සන්නිවේදනය කිසි ව්ටෙක හුදකලාව උපදින්නක් නොවේ.එය කිසියම් ක්‍රියාවලියක් ඔස්සේ සිදු වේ. කිසියම් ලිඛිත සන්නිවේද්න අවස්ථාවක් ගත් කළ එය පියවර ගණනාවක් පසු කරයි.
  1. සිතීම
  2. සැලසුම් කිරීම
  3. ලිවීම
  4. සංස්කරණය
  5. නැවත ලිවීම
උදා:-
  • වේදිකා නාට්‍ය, චිත්‍රපට පිටපතක්
  • පුවත්පතක කතුවැකියක්
  • උදෑසන රැස්වීම සඳහා කතාවක් පැවැත්වීම
                                                 මෙසේ ඕනෑම සන්නිවේදන අවස්ථාවක ඊට අනුරූප වූ ක්‍රියාපටිපාටියක් සිදු වේ.



7.සන්නිවේදනය විවිධාකාර වේ
                                                සන්නිවේද්නය විවිධ වූ ආකාර සහ ස්වරූප ගන්නා බව මෙයින් කියැවේ.භාෂා ද්වීරූපතාව අනුව අප කථන ස්වරූපයට වඩා ලිඛිත ස්වරූපය වෙනස් වේ.
උදා:-
  • කථන ස්වරූපය - " මම යනවා"
  • ලිඛිත ස්වරූපය  - " මම යමි"
                                  මෙලෙසින් එකම අදහස දෙයාකාරව දැක්විය හැක.එය විවිධත්වයයි.විවිධ ආගමික, ජාතික, සංස්කෘතික සන්දර්භයන් තුළදීද මෙලෙස සන්නිවේදනය විවිධ වේ.
උදා:-
  • පිළිගැනීම සඳහා බටහිර රටවල අතට අත දීම හෝ වැළඳගැනීම සිදු කරන අතර ලංකාව තුළ දෑත් එක්කොට ආයුබෝවන් කීම සිදුවේ.චීනය, ජපානය, කොරියාව වැනි රටවල සිරුරේ ඉනෙන් උඩ කොටස ඉදිරිපසින් පහළට නැමීමෙන්ද, තායිලන්තයේ දෑත් එක්කොට වන්දනා කරන ආකාරයෙන් මදක් ඉද්‍රියෙන් සිරුර පහතට නමමින් ද ආචාර කිරීම සහ පිළිගැනීම සිදු කරයි.
                                                         මෙය සන්නිවේදනයේ පවතින විවිධාකාර බවයි.
                                                  








6 comments: