Wednesday, 30 August 2023

සන්නිවේදනය යනු කුමක්ද?

සන්නිවේදනය.........

                                              සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස සන්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදු වන බව දක්නට ලැබේ. 


                    මිනිසා සමාජ කණ්ඩායම් සමග සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම සහ හුවමාරු කරගන්නා ක්‍රම, ඉගෙනීම සහ ඉගැන්වීම, විනෝදය ලබා ගැනීම අදී සියල්ල සන්නිවේදනය යන වචනය හා බැඳී පවතී.සන්නිවේදනය දෛනික ජීවිතය හා සම්බන්ධ වූවකි. මානවයෙකු වශයෙන් සිදුකරන සිතීම, ස්පර්ශය, ආඝ්‍රාණය,දැකීම,විඳීම,කතාකිරීම,කියවීම,ලිවීම,විනෝදවීම ආදී වූ සෑම කාර්‍යයක්ම සන්නිවේදනය හා ඍ‍ජුව හෝ වක්‍රව සම්බන්ධතාවක් දක්වයි. සන්නීවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං-නි- යන උපසර්ග ද්විත්වය මුල් කොටගෙන විද් වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි. සං යන උපසර්ගයෙන් මනා වූ යන අදහසත්, නි යන උපසර්ගයෙන් ඒකාබද්ධ වූ යන අදහසත් ධ්වනිත වේ. විද් යන ධාතුවෙන් දැනීම, හැඟීම, වේදනය යනාදී අදහස් ප්‍රකාශ වේ.

           සං- මනා වූ

          නි - ඒකාබද්ධ වූ

          වේදනය - දැනීම, හැඟීම, වේදනය          

                                  ඉංග්‍රීසි භාෂාවෙන් Communication යන වචනය අනුව සන්නිවේදනය යන වචනය යන ගොඩනගාගෙන තිබේ.ලතින් භාෂාවෙන් Communicatus යන වචනයෙන් 'පොදු බවට පත් කිරීම' යන අරුත සහිත Communis යන වචනයෙන් බිඳී ආවකී. සිංහලයේ සන්නිවේදනය යන වචනය 'මැනවින් දැනුම්දීම' ලෙස ද හැඳින්විය හැක. එසේම දෙමළ බසෙහි සන්නිවේදනය 'තෝඩපාඩල්' යනුවෙන් හඳුන්වයි. එහි අරුත 'සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය' යන්නයි.  

                                

                                                    විෂයානුබද්ධ ලෙසින් ගත් කළ සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කර ගැනීම ලෙස ඉතාමත් සරලව දැක්විය හැක.යම් කිසි පුද්ගලයෙක් තුළ හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුදගලය කිහිපදෙනෙකු හෝ කණ්ඩායමක් අතර හෝ විශාල ජනස්කන්ධයක් තුළ අදහස්, තොරතුරු, දැනුම, ආකල්ප, සිතුම්පැතුම් ආදිය හුවමාරු කරගැනීම සන්නිවේදනය ලෙස හැඳින්විය හැක.


සන්නිවේදනය සම්බන්ධ පුරෝගාමීන්, සන්නිවේදනඥයින් සන්නිවේදනය සම්බන්ධ විවිධ නිර්වචන දක්වා ඇත.

                            සන්නිවේදන විෂය තුළ සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසකි. 1930 දශකයේ පමණ සිට අද දක්වා තනි පුද්ගලයන්, කණ්ඩායම් හා සංවිධාන වශයෙන් සන්නිවේදන නිර්වචන ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන ඇත.බොහෝ විට සාර්ථක සන්නිවේදන නිර්වචනයක් කරුණු 5ක් ඇතුළත් බව පෙන්වා දිය හැක.

1. සන්නිවේදනයේ ආරම්භකයා/මූලාශ්‍රය/සන්නිවේදකයා [ Communicator ]

2. සන්නිවේදනය/සංදේශය ලබන්නා/ග්‍රාහකයා [ Receiver ]

3. සන්නිවේදන වාහකයා/චැනලය/මාධ්‍යය [ Media/ Channel ]

4. පණිවිඩය/සංදේශය [ Message ]

5. සන්නිවේදනයේ ඵලය/බලපෑම  [ Effect ]   


විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය    


සන්නිවේදන විෂය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දැක්වූ මහාචාර්යය විල්බර්ශ්‍රාම් 1973 වසරේදී සන්නිවේදන නිර්වචනයක් ඉදිරිපත් කළේය.                


                             " තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික පැවැත්මක් ඇති කිරීම සන්නිවේදනයයි."

                                               විල්බර්ශ්‍රාම් පැහැදිලි කරන්නේ මිනිසා විසින් සමාජය තුළ කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳවයි. 









3 comments:

  1. thawa me wage wedagath lipi godak apita hambei kiyala balaporoththu wenawa..oyata good luck !!!!

    ReplyDelete
  2. harima weagath...padama sarlawa therum ganna puluwan una....

    ReplyDelete